HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නත්තල් සීයාගේ සොහොනෙන් මතු වූ රහස්!

මේ සීතල උදුවප් මාසයයි. නත්තලට ඇත්තේ තව දින කිහිපයයි. නත්තල ගැන කතා කරද්දී අපේ සිහියට එන්නේ, පුළුන් වගේ දිග රැවුලක් ඇති, මහත, ලොකු බඩගෙඩියක් ඇති නත්තල් සීයාය. අප අද නත්තල් සීයා ලෙස දන්නා මේ හැඩරුව ඇති ඒ චරිතය කරළියට ආවේ, 1823 වසරේ ප්‍රසිද්ධියට පත් වුණු ‘අ විසිට් ෆ්‍රොම් සැන් නිකලස්’ නමැති කවියෙනි. ඉන්පසු 1863 දී ‘හාපර්ස් වීක්ලි’ නමැති සඟරාවට නත්තල් සීයා සිතුවම් කරනු ලැබුණි. ඒ, චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් විසිනි. රතු ඇඳුමින් සැරැසුනු, කළු බුට් සපත්තු පැලඳි, කළු මහත ඉණ පටියකින් සැරසුණු රතු තොප්පියක් හිසේ දමා ගත් ඉංග්‍රීසි බසින්, ‘සැන්ටා ක්ලෝස්’ Santa Claus හෙවත් නත්තල් සීයා නිර්මාණය වූයේ එලෙසිනි. 

පුරාවිද්‍යාඥයන්ට සාන්ත නිකලස්ගේ අඩි හයක් දිග හුණුගල් සොහොන් ගැබ 
සොයා ගැනීමට හැකි වූයේ තුර්කියේ ශාන්ත නිකලස් දෙව් මැඳුරට 
පහළින් කළ කැණීමකදීය

සැන්ටා ක්ලෝස් Santa Claus යන වදන නිර්මාණය වී ඇත්තේ, ‘සාන්ත නිකලස්’ යන පදයේ ‘සෙන්ට් නිකලස්’ යන්න කාලයට සාපේක්‍ෂව වෙනස් වීමෙනි. Saint සහ Nicholas යන වචන දෙක එකට උච්චාරණයේදී එය ‘සැන්ටා ක්ලෝස්’ නම් විය. ‘සාන්ත නිකලස්’ සැබෑ චරිතයකි; බිෂොප්වරයෙකි. මේ වනවිට පුරා විද්‍යාඥයන්ට සාන්ත නිකලස්ගේ සොහොන් ගැබ හමුවී ඇත. සාන්ත නිකලස්ගේ හිස් කබල හමුවී ඇත. පුරාවිද්‍යාඥයන් වෝහාරක (අධිකරණ) වෛද්‍යවරුන්ගේ ද සහාය ඇතිව, එම හිස් කබල පරිගණක තාක්ෂණයෙන් ප්‍රති නිර්මාණය කර ඇත. එම කටයුත්තට නායකත්වය දුන්නේ, අධිකරණ වෛද්‍ය සිසේරෝ මොරේස්ය. ඔබ කියවන මේ සටහන සමඟ ඇති ඒ, මහත, ප්‍රසන්න රුව සාන්ත නිකලස්ගේ රුවය. නත්තල් සීයාගේ සැබෑ රුවය. නිර්මාණය වුණු ත්‍රිමාණ පෙනුම අනුව, ශාන්ත නිකලස්, පුළුල් නළලක් ඇති, ශක්තිමත් නමුත් මෘදු පෙනුමක් ඇති මහල්ලකු බව එයින් පෙනෙයි. නත්තල් සීයාගේ සැබෑ රුව මෙලෙස අපට දකින්න ලැබෙන්නේ අවුරුදු 1,700 කට පසු පළමු වරටය. 

සාන්ත නිකලස්, මුල් කාලීන ක්‍රිස්තියානි සාන්තවරයෙකි. තෑගි බෙදා දීම සාන්ත නිකලස්ගේ පුරුද්දකි. මෙය අභාසයට ගනිමින්, ලන්දේසි ප්‍රවාදවල සඳහන් වන ‘සින්ටර්ක්ලාස්’ චරිතය බිහිවිය. පසුව මෙම චරිතය ඇමෙරිකාවේ සැන්ටා ක්ලෝස් බවට පත් විය. පසුව සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයාගේ චරිතය, බටහිර රටවල, තෑගි බෙදා දීම වෙනුවට ක්‍රීඩා සහ සැණකෙළිවලට මුල් තැනක් දුන් ‘ෆාදර් ක්‍රිස්මස්’ සමඟ මුසුවිය. පොදුවේ, නත්තල් සීයා යනු මයිරා හි සාන්ත නිකලස් බව අවිවාදයෙන් පිළිගැනෙයි. සාන්ත නිකලස් සම්බන්ධයෙන් තොරතුරු සහ විස්තර පළ වී ඇත්තේ ක්‍රි.ව. 343 දී, ඔහුගේ මරණින් ශතවර්ෂ ගණනකට පසුව යැයි ද පැවැසෙයි. සාන්ත නිකලස් ජීවත් වූ බව පැවැසෙන්නේ ක්‍රි.ව. 270 සිට 343 දක්වා කාලයේය. 

සාන්ත නිකලස්, උපත ලැබුවේ තුර්කියේ, ලිසියා නම් නගරයේදීය. නමින් නිකලස් වූ ඔහුගේ මාපියෝ ධනවත් මෙන්ම බැතිමත් කිතුනුවන් වූහ. ඔවුහු පාරම්පරික කිතුනු සිරිත් විරිත් සහ ආගමික වතාවත් පිළිපදින අය වූහ. ඒ ආභාසය කුඩා නිකුලස්ටත් උරුම විය. මාපියන්ගේ ධනය ද ඔහුට උරුම විය. කුඩා කළ සිටම, නිකලස් නම් බැතිමත් කිතුනු දරුවකු ලෙස හැදී වැඩුණු බව ඉතිහාසයේ සඳහන් වෙයි. මාපියන්ගෙන් ඔහුට අපූරු පුරුද්දක් ලැබී තිබුණි. ඒ දිළිඳුන්ට උදව් උපකාර කිරීමේ සහ දන්දීමේ පුරුද්දය. ඔහු ළදරු අවදියේම තමන්ට අයත් බොහෝ දේ දිළිඳු, අසරණ දරුවන් වෙත බෙදා දුන් බව පැවැසෙයි. කුඩා කාලයේ පටන් දන්දෙන්නට, උදව් කරන්නට කැමති ත්‍යාගීවන්ත දරුවකු ලෙස කුඩා නිකලස් ප‍්‍රසිද්ධියට පත් විය. ඔහු වැඩිවියට පැමිණෙත්ම වඩ වඩා දහමට නැඹුරු විය. වයසින් වැඩෙත්ම දන්දීමට යොමු විය. යොවුන් වියේ වූ නිකලස් පූජක දිවියට ඇතුළුවීම සඳහා නිවසින් පිටවිය. පසුව පැවිදි දිවියට ඇතුළු වූ නිකලස් කෙටි කලකින් ත්‍යාගිවන්ත නිකලස් පියතුමා ලෙස ප‍්‍රචලිත විය. 

පැවිදි දිවියට ඇතුළත් වූ පසු ඔහු තව තවත් වැඩියෙන් දන්දීමේ කටයුතුවල යෙදෙන්නට විය. මේ දන්දීමේ අසරණයන්ට උදව් උපකාර කිරීමේ ක‍්‍රියාව නිසාම ඔහු ජනතාව අතර වඩා ප‍්‍රචලිත විය. වයසින් මෙන්ම අත්දැකීමෙන් ද පොහොසත් නිකලස් පියතුමා පසුව රදගුරුවරයකු ලෙස අභිෂේක කරනු ලැබුණි. බිෂොප්වරයෙකු වූ පසු ඔහු දිළින්දන් හා අසරණයන් වෙනුවෙන් වැඩි වැඩියෙන් කැපවෙන්නටත් කටයුතු කරන්නටත් විය. ඔහු අසරණයන් සොයා ගොස් ඔවුන්ට මුදලින් ද කෑම, බීම, ඇඳුම් පැලඳුම් ආදිය පරිත්‍යාග කර ඔවුන්ට උදවු කරන්න විය. විශේෂයෙන් නත්තල් කාලය ළං වෙද්දී, නත්තල් සැමරීමට වත්කමක් නොතිබුණු අසරණ දිළිඳු ජනයාටත්, කුඩා දරුවන්ට නිකලස් රදගුරුවරයා උදව් උපකාර කරන්නට විය. 

ඔහුගේ රතු පැහැති රදගුරු ලෝගුවත්, උසැති රත් පැහැති රදගුරු හිස් වැස්මත්, සීතලයට පලඳින අත් වැස්මත් ඔහුටම ආවේණික පෙනුමක් එක් කළ අතර, එය තවත් කැපී පෙනුනේ ඔහුට හිමිව තිබූ දිගැති සුදු රැවුල සහ කෙස් වැටියත් රදගුරු සැරයටියත් නිසාය. කලින් සඳහන් කළ පරිදි අද නත්තල් සීයා යැයි අපගේ සිත්වල මැවෙන ඒ රුව, නිකලස් රදගුරුවරයාගේ ගති ලක්ෂණ අනුව නිර්මාණය වූවකි. නිකලස් රදගුරුවරයාගේ අභාවයෙන් පසු ද ඔහුව අනුකරණය කරමින් නත්තල් සමයේ දිළිඳු දරුවන්ට තෑගි බෝග බෙදා දීම, සම්ප‍්‍රදායක් ලෙස සිදු විය. 

ආරම්භයේ දී මෙම සම්ප්‍රදාය, තුර්කිය පුරාත්, ඉන්පසු යුරෝපයටත්, ඇමෙරිකාවටත්, ආසියාවටත් පැතිර ගිය අතර පසුව නත්තල් සීයා යන සංකල්පය ලොව පුරා නත්තලේ අනන්‍ය වූ ලක්‍ෂණයක් විය. නිකලස් රදගුරුවරයා පසුව සාන්තුවරයකු ලෙස නම්කර සාන්තුවර භාවයට ඔසවා ගරු බුහුමන් දැක්වීම සිදු කෙරුණි. ඒ ඔහු දිළින්දන්ගේ, වෙළෙන්දන්ගේ අසරණ දරුවන්ගේ, නාවිකයන්ගේ, බැංකුකරුවන්ගේ, බලාපොරොත්තු සුන්ව ගිය අයගේ සහ විවාහ නොවී සිටින තරුණ තරුණියන්ගේ සාන්තුවරයා ලෙසින් ද හඳුන්වමිනි. දේහය තැන්පත් කළ ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන් අතරේ වාද විවාද පැවැතියත්, පසුගිය දා දේහය තැන්පත් කළ සොහොන් ගැබ හමුවීමත් සමඟ එම වාද විවාද අවසන් විය. 

පුරාවිද්‍යාඥයන්ට සාන්ත නිකලස්ගේ අඩි හයක් දිග හුණුගල් සොහොන් ගැබ සොයා ගැනීමට හැකි වූයේ තුර්කියේ ශාන්ත නිකලස් දෙව් මැඳුරට පහළින් කළ කැණීමකදීය. සොහොන් ගැබ පිහිටා ඇත්තේ අඩි හයක් ගැඹුරිනි. එම සොහොන් ගැබ මහල් දෙකකින් සමන්විය. අද නටබුන් වී පස්වලින් යටවුණු එය අතීතයේ දෙව් මැදුරට යාබදව ඉදි කර තිබෙන්න ඇතැයි පැවැසෙයි. සොහොන් ගැබ සොයා ගැනීම සිදු කරනු ලැබුවේ තුර්කියේ මුස්තාෆා කෙමාල් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි. මෙම දේවස්ථානය පස්වැනි සියවසේදී ඉදි කරන ලද්දක් බව පැවැසෙයි. කෙසේ නමුත් එය අවස්ථා ගණනකදී කඩා බිඳ දැමුණු බවත්, ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණු බවත් ඉතිහාස වාර්තාවල දැක්වෙයි. 1982 දී මෙම භූමිය ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි. 

-  ලුසිත ජයමාන්න 

ඩේලිමේල් ඇසුරිනි

Post a Comment

0 Comments